ඉරානය සමඟ සටන් විරාමයකට අදාළ මූලික ගිවිසුමකට එළඹ තිබුණ ද, තම ආරක්ෂාව වෙනුවෙන් ලෙබනනය, සිරියාව සහ ගාසා තීරය තුළ තම හමුදා තවදුරටත් රඳවා තබන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. එමෙන්ම, ගිවිසුමක් ඇතිව හෝ නැතිව ඉරානයට න්‍යෂ්ටික අවි ලබාගැනීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය. සාම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවද දකුණු දිග ලෙබනනයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන පරිදි, මෙම මූලික ගිවිසුමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් විසින් ඉලෙක්ට්‍රොනිකව අත්සන් තබා ඇත. ලබන සිකුරාදා ගිවිසුම විධිමත් ලෙස අත්සන් කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට නියමිතය. ජනාධිපති ට්‍රම්ප් ප්‍රංශයේ පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගී වීම සඳහා ජිනීවා වෙත පැමිණ ඇත.
මෙම වර්ධනයන් සමඟ මැදපෙරදිග සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ වනු ඇතැයි අපේක්ෂාවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.73ක් සහ ඩබ්ලිව්.ටී.අයි බැරලයක මිල ඩොලර් 80.42ක් ලෙස සටහන් විය. මේ අතර, ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාමේ බලපෑම මත ජපාන මහ බැංකුව වසර 31කට පසු සිය පොලී අනුපාතය 0.75% සිට 1% දක්වා ඉහළ නංවා තිබේ.
















