වත්මන් ආණ්ඩුව විසින් උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කරන ද්විත්ව ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව දැඩි චෝදනා එල්ල කර තිබේ.
“මැරුවත් මේ සටන අරගෙන යනවා” යනුවෙන් මීට පෙර අභියෝග කළ පාර්ශව, බලයට පත්වීමෙන් පසු උපාධිධාරීන්ට ලබාදී ඇත්තේ කුමන සාධාරණයක්දැයි ඔවුන් ප්‍රශ්න කර සිටියි. විශේෂයෙන්ම, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විපක්ෂයේ සිටි සමයේදී, උපාධිධාරීන්ට රැකියා ලබා දිය නොහැකි ආණ්ඩු වහාම ගෙදර යා යුතු බවට කළ ප්‍රකාශය සිහිපත් කරමින්, වත්මන් පාලකයන් සිය වචනවලට පටහැනිව ක්‍රියා කරන බව ඔවුන් පෙන්වා දෙයි.
පසුගියදා පැවති උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය පාලකයන් විසින් සමච්චලයට ලක් කිරීම, උපාධිධාරී පරම්පරාවට කළ විශාලතම අගෞරවයක් බවත්, මෙම තත්ත්වය හමුවේ තමන්ගේ අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළහ.
















