2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාව 5.1%ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙය 2021 වසරෙන් පසු වාර්තා වූ ඉහළම පළමු කාර්තු වර්ධන වේගය බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ආර්ථිකයේ කාර්යසාධනය පිළිබඳ කරුණු පහත දැක්වේ.
කාර්මික අංශය 7.2%ක ප්‍රබල වර්ධනයක් වාර්තා කරමින් ආර්ථික වර්ධනයට වැඩිම දායකත්වයක් ලබා දී ඇත. සේවා අංශය ද ඉහළ දක්ෂතා පෙන්නුම් කර ඇති අතර, කෘෂිකාර්මික අංශය ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් සාපේක්ෂව අඩු වර්ධනයක් වාර්තා කළේය.
කාර්මික අංශයේ වර්ධනයට පතල් හා කැණීම් (19.5%), ඉදිකිරීම් (16.3%), ජල සැපයුම (11.4%) සහ විදුලි උත්පාදනය (7.5%) වශයෙන් උප අංශ දායක වී තිබේ.
සේවා අංශය තුළ රක්ෂණ සේවා (22%), තොරතුරු තාක්ෂණ (16.1%), මූල්‍ය සේවා (12.5%), නවාතැන් හා ආහාර පාන සේවා (5.4%) සහ ප්‍රවාහන සේවා (3.6%) වශයෙන් වර්ධනයක් දක්නට ලැබේ.
කෘෂිකාර්මික අංශය තුළ සුළි කුණාටුවේ බලපෑමෙන් තේ, පශු සම්පත් සහ වී වගාව පසුබෑමකට ලක් වුවද, පොල් වගාව (64.8%) සහ එළවළු නිෂ්පාදනය (3.6%) ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ආර්ථිකය මේ වන විට ස්ථායීකරණ මට්ටමෙන් ඔබ්බට ගොස් තිරසාර සංවර්ධනයක් කරා අඩිතාලම දමමින් පවතින බව අමාත්‍යවරයා පවසයි. රජය විසින් පසුගිය වසරේ (2025) පවත්වාගත් ශක්තිමත් ආදායම් එකතු කිරීම හේතුවෙන් ගොඩනගාගත් මූල්‍ය සංචිතය, සුළි කුණාටුවෙන් හා මැද පෙරදිග ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට ඉවහල් වී ඇත.
මධ්‍යකාලීන ඉලක්කය වන 7%ක ආර්ථික වර්ධනයක් කරා ළඟා වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මේ වන විට නිවැරදි ගමන් මගක ගමන් කරන බවත්, මෙවැනි වර්ධන වේගයන් එම ඉලක්කය සපුරා ගැනීමට රුකුලක් වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















