ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින්, මෙරට පැවැති දිගුකාලීන ප්‍රවර්ධන හිඩැසක් පුරවමින් නව අතුරු ඩිජිටල්, මාධ්‍ය සහ මහජන සම්බන්ධතා (Digital, Media and PR) ව්‍යාපාරයක් නිල වශයෙන් ආරම්භ කර තිබේ. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය එළිදැක්විණි. මෙම නව ව්‍යාපාරය හරහා සම්ප්‍රදායික ව්‍යාපාරික ක්‍රමවලින් ඔබ්බට ගොස්, සෘජුවම ගෝලීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම අපේක්ෂා කෙරේ. එහි මූලික අදියර යටතේ ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ පෙළේ ඉලක්කගත වෙළඳපොළක් ලෙස නම් කර ඇති අතර, ඊට අමතරව එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල්ද කේන්ද්‍ර කරගනිමින් ඩිජිටල් ප්‍රවර්ධන ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම තරුණ සංචාරක පරම්පරාව (Millennials සහ Gen Z) මෙන්ම ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් ගමනාන්ත තෝරා ගන්නා සංචාරකයින් ඉලක්ක කර ගනිමින්, පරිසර සංචාරක, සුඛෝපභෝගී සංචාරක, සාම්ප්‍රදායික සංස්කෘතිය, සහ සුවතා සංචාරක (Wellness tourism) ආදී විවිධ අංශ රට හමුවට ගෙන ඒමට නියමිතය. මෙම අතුරු වැඩසටහනෙන් අනතුරුව, ඉදිරියේදී වඩාත් පුළුල් ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටද බලධාරීන් අපේක්ෂා කරයි.













