ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික ගිවිසුම හෙට (19) ජිනීවා නුවරදී අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී, ඉරානය එම සාකච්ඡා සඳහා සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි. ගිවිසුම අත්සන් කිරීම සඳහා ජිනීවා නුවර ශාලාවන් පවා වෙන්කර, ලෝකයම බලා සිටින පසුබිමක ඉරාන දූත පිරිසේ පැමිණීම පිළිබඳව මෙතෙක් ස්ථිර කර නොමැති බව එරට ‘තස්නිම්’ (Tasnim) පුවත් ඒජන්සිය වෙත අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විමර්ශන සහ උපදේශන තවමත් අවසන් වී නොමැති අතර, ඉදිරි පැය කිහිපය තුළ අවසන් තීරණය පැහැදිලි වනු ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගිවිසුම දැනටමත් අවසන් බව ප්‍රකාශ කර, වොෂින්ටනය නියෝජනය කිරීම සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද නම් කර තිබියදී ඉරානය ගත් මෙම හදිසි පියවර හේතුවෙන් සමස්ත සාම ක්‍රියාවලියම දැඩි අවිනිශ්චිතතාවකට ලක්ව තිබේ. ජනාධිපතිවරුන් දෙදෙනා මීට පෙර මූලික එකඟතාවන්ට ඉලෙක්ට්‍රොනිකව අත්සන් තබා ඇති බව ප්‍රකාශ වුවද, ප්‍රායෝගිකව ඉරාන දූත පිරිස ජිනීවා වෙත පැමිණෙන තෙක් හෙට දිනයේ ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබීම සිදුවේද යන්න සැක සහිත බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















