ඉරාන යුද්ධය අවම වශයෙන් දින 60ක කාලයකට තාවකාලිකව හෝ අවසන් වීමේ ලකුණු පහළ වීම ගෝලීය ආර්ථිකයට යම් සහනයක් ගෙන දී ඇත. දෙපාර්ශ්වය අතර ඇති කරගෙන ඇති එකඟතාවන් පිළිබඳ විස්තර තවමත් පූර්ණ වශයෙන් ප්‍රසිද්ධ නැතත්, මෙම වර්ධනය යුද වාතාවරණය නිසා කැලඹී තිබූ ගෝලීය වෙළෙඳපොළට යම් ස්ථාවරත්වයක් ලබා දී තිබේ. කෙසේ වෙතත්, මෙය ලෝක ආර්ථිකය යළි පෙර පැවති ‘සාමාන්‍ය’ තත්ත්වයට පත්වීමක් ලෙස සැලකිය හැකිද යන්න පිළිබඳව ආර්ථික විශ්ලේෂක චායු දම්සිංහ මහතා සිය අදහස් දක්වයි.
යුද්ධයේ බලපෑම් සහ ඉතිරි වූ කැළැල්
ඉරාන යුද්ධය පසුගිය මාස කිහිපය තුළ ගෝලීය ආර්ථිකය දැඩි ලෙස කම්පනයට පත් කළ ප්‍රධාන සාධකය විය. තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාමවල බිඳවැටීම නිසා ලෝක ආර්ථිකයට සිදුවූ හානිය අතිමහත්ය. තෙල් මිල මේ වන විට පහළ යමින් පැවතුනද, යුද්ධය නිසා සිදුවූ සැබෑ හානිය හුදෙක් මිල ගණන්වලට පමණක් සීමා නොවේ. සැපයුම් දාමයේ විශ්වාසනීයත්වය සහ අනාගත අවදානම් පිළිබඳ අලුතින් ඇතිවූ අවිශ්වාසය වැනි කරුණු ගෝලීය ආර්ථිකය මත තවමත් ‘කැළැල්’ ඉතිරි කර ඇත.
ගෝලීය පද්ධතියේ සංකීර්ණත්වය
ගෝලීය ආර්ථිකය එකිනෙක බැඳුණු සංකීර්ණ ජාලයක් වන නිසා එක් කලාපයක සිදුවන වෙනසක් මුළු ලෝකයටම බලපායි. ඉරාන යුද්ධයේදී තෙල් මිල ඉහළ ගියත්, සිතූ තරම් දරුණු අර්බුදයක් ඇති නොවීමට ප්‍රධාන හේතුව වූයේ චීනය වැනි රටවල තෙල් ඉල්ලුම පහළ යාමයි. ගෝලීය ආර්ථිකය මෙවැනි අනපේක්ෂිත ආකාරයෙන් ගැලපීම් සිදුකර ගත්තද, එම ක්‍රියාවලිය වේදනා රහිත නොවන බවත්, එයින් යම් පාඩුවක් ආර්ථික පද්ධතිය තුළ ඉතිරි වන බවත් විශ්ලේෂකයා පෙන්වා දෙයි.
නව සාමාන්‍ය තත්ත්වය (The New Normal)
පසුගිය වසර දෙක තුළ ගෝලීය ආර්ථිකය මත එල්ල වූ විශාලතම කම්පන දෙක වන්නේ ගෝලීය වෙළෙඳ යුද්ධය සහ ඉරාන යුද්ධයයි. ඉදිරියේදී ලෝක ආර්ථිකය අත්විඳිනු ඇත්තේ සන්සුන් කාල පරිච්ඡේදවලින් පසු මෙවැනි අවුල් සහගත අවස්ථාවන් ඇතිවන ‘නව සාමාන්‍ය’ තත්ත්වයකි. ලෝකය තවදුරටත් වඩාත් බිඳෙනසුලු (fragile) ස්වභාවයක් ගෙන ඇති අතර, එකී අර්බුදයන්ම අනාගතයේ තවත් අර්බුදවලට මුලපුරන තත්ත්වයක් පවතී.
අනාගත වෙනස්කම්
කලක් ලෝක ආර්ථිකය පාලනය කළ ඇමරිකානු කේන්ද්‍රීය (unipolar) ආර්ථික ක්‍රමය මේ වන විට වෙනස් වෙමින් පවතී. යුද්ධය අවසන් වූ පසු ලෝකය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතත්, එම ‘සාමාන්‍ය’ යනු කවරේද යන්න පිළිබඳව පැහැදිලි චිත්‍රයක් නොමැත.
















