රාජ්‍ය ණය ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම කාරක සභාව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ලබා දුන් වාර්තා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. අස්ථානගත වූ මුදල් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මීට පෙර වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තම මතය සහිත වාර්තාව මෙම රැස්වීමේදී කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තා දෙකම සලකා බලා, ඒ පිළිබඳ අවසන් වාර්තාවක් සකස් කර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසීය. මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















