ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ (ISFTA) 25 වැනි සංවත්සරයට සමගාමීව, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ සමුළුවකදී ‘ඉන්දීය කවුළුව’ (India Desk) නිල වශයෙන් විවෘත කරන ලදී. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරිණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ ඉන්දීය වෙළෙඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය නියාමන උපදෙස් සහ වෙළෙඳපොළ තොරතුරු ලබා දීම මෙන්ම ඉන්දීය පාර්ශ්වකරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමේ අවස්ථා සලසා දීමයි.
ඉන්දු – ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (ILCCI) විසින් හඳුන්වා දී ඇති මෙම වැඩපිළිවෙළ, ගෝලීය ඉන්දීය ව්‍යාපාර සංසදයේ (GITA) දායකත්වයෙන් ශක්තිමත් කෙරේ. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වූහ.
















