ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධතාව විධිමත් කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන දැවැන්ත බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින්, අති නවීන බලශක්ති ගබඩා පද්ධති හතක් කොළඹ වරාය වෙත ළඟා වී තිබේ. විදුලිබල අර්බුද හමුවේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමේ ජාතික අවශ්‍යතාවය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ නවීකරණය උදෙසා ගනු ලැබූ සුවිශේෂී උත්සාහයකි.
මෙම අතිරේක බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන උපායමාර්ගික ප්‍රදේශවල පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් ආශ්‍රිතව ස්ථාපිත කිරීමට නියමිත අතර, එමගින් මෙගාවොට් 280ක සමස්ත විදුලි ධාරිතාවක් ගබඩා කර ගැනීමේ හැකියාව උදාවනු ඇත. දෛනිකව ජාතික විදුලිබල ජාලයට මෙගාවොට් 70ක බලශක්තියක් එක් කිරීමට මෙමගින් සැලසුම් කර තිබීම, බලශක්ති ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවන අතරම, විදුලි කප්පාදුවකින් තොර අනාගතයක් උදෙසා පවතින විශ්වාසය තහවුරු කරන්නකි.
මෙම යටිතල පහසුකම් ව්‍යාපෘතියේ අවසන් ක්‍රියාකාරීත්වයත් සමග දේශීය විදුලිබල ජාලයේ ස්ථායීතාවය ඉහළ නැංවෙන අතර, අනාගත බලශක්ති අවශ්‍යතා කළමනාකරණය කරගැනීමේදී මෙරටට ලැබෙන උපායමාර්ගික වාසිය අතිමහත්ය. ඉදිරියේදී මෙම පද්ධති ජාලගත කිරීමත් සමඟ ජාතික පද්ධතියට එක්වන බලශක්ති ස්ථාවරත්වය හේතුවෙන් කාර්මික සහ ගෘහස්ථ පාරිභෝගිකයන්ට අඛණ්ඩ සේවාවක් සහතික කිරීමේ හැකියාව රජයට හිමිවනු ඇත. බලශක්ති ක්ෂේත්‍රයේ මෙම නව පිම්ම ආර්ථික සහ සාමාජීය වශයෙන් රටට සැලසෙනුයේ ඉහළ දායකත්වයකි.
















