නාගරික පාලනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තාසාර් මහත්මිය කෙන්යාවේ නයිරෝබි නගර ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාර නියොරෝගේ මුචිරි මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාව සඳහා කෙන්යාවේ ශ්‍රී ලංකා වැඩ බලන මහ කොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මිය ද එක්ව සිටියහ.
මෙම හමුවේදී නගර දෙකම මුහුණ දෙන ප්‍රධාන නාගරික අභියෝග වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ජලාපවහන හා මලාපවහන පද්ධති නඩත්තු කිරීම සහ නාගරික නිවාස සම්පාදනය වැනි තීරණාත්මක කරුණු පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්විණි. මෙම ගැටලු විසඳීම සඳහා දෙරටේ පවතින සාර්ථක ක්‍රමවේද හුවමාරු කර ගැනීමටත්, දැනුම බෙදා ගැනීමේ අවස්ථා සොයා බැලීමටත් දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
එසේම නාගරික සැලසුම්කරණයේදී සහ සංවර්ධන කටයුතුවලදී ජනතාව කේන්ද්‍ර කරගත්, සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් උපදේශනාත්මක ප්‍රවේශයන් අනුගමනය කිරීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. තිරසර නාගරික වර්ධනයක් තහවුරු කිරීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හිදී ප්‍රජාව සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම නිල හමුව ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කළ අතර, නාගරික පාලනය සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නගර දෙක අතර සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තු පළ කළහ.
















