හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව තංගල්ල පට්ටියපොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කටුවන, ගඟුලන්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. කටුවන, ගඟුලන්දෙණිය, අඹගස්ආර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා අධි ධාරිතා යතුරුපැදියක් ද සමඟිනි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සැකකරු විසින් මෙම සුඛෝපභෝගී යතුරුපැදිය යොදාගෙන ඇති බවත්, නීතියේ රැහැනින් බේරීම සඳහා එහි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවත්ය. අධි ධාරිතා යතුරුපැදි උපයෝගී කරගනිමින් මෙවැනි අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සතුව තිබූ අධි ධාරිතා යතුරුපැදිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුවන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා නවීන තාක්ෂණය සහ මිල අධික වාහන යොදා ගැනීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂක අංශවල නිරීක්ෂණය සහ වැටලීම් ඉදිරියේදී තවදුරටත් දැඩි කෙරෙනු ඇත.
















