සාරානන්ද හිමියන් අවමානයට පත් කිරීමේ අරමුණින් සංඝාරාමයට කාන්තා උපශාලාධිපතිවරියක් පත්කිරීමෙන් නොනැවතුන දඩයම්කරුවන්, එහිමියන් සේවයෙන් නෙරපීමේ අරමුණ පෙරදැරිව තවත් වරදක් කෙසේ හෝ මතුකර ගැනීමේ උත්සාහයක නියැලෙමින් සිටින අතරතුර, ඔවුන්ගේ සට්ටැඹි නිලධාරියෙකුගෙන් අපූරු තොරතුරක් ලැබී තිබුණි. එය නම් සාරානන්ද හිමියන් විශ්වවිද්‍යාල භූමියේ තිබූ කොස් ගසක් ඉරා, එහි දැව සංඝාරාමයේ කාමරයක ගබඩා කර තිබෙන බවය.
ඒ අනුව උපකුලපතිවරයාගේ හිතෛෂිවන්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් සංඝාරාමය පරීක්ෂා කරන ලදුව, එහි කාමරයක ගබඩා කර තිබූ කොස් දැව තොගය සොයාගන්නා ලදී. දඩයම්කරුවන් ප්‍රීතියෙන් පිනා ගොස් වහාම පරීක්ෂණයක් කැඳවීමට කටයුතු කර ඇත්තේ සාරානන්ද හිමියන්ට මෙවර නම් ගැලවීමක් නැතැයි පාරම්බාමිනි.
කොස් දැව තොගයේ කථාව මෙසේය. 2021 මැයි මස 30 වන දින සංඝාරාමයට පිවිසෙන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් දැවැන්ත ගසක් කඩා වැටී තිබුණි. මෙම ගස ඉවත් කර දෙන ලෙස උපශාලාධිපති සාරානන්ද හිමියන් එවකට විශ්වවිද්‍යාලයේ උද්‍යාන පාලක ආනන්ද නැමැත්තාගෙන් සහ සාමාන්‍ය සේවා අංශයේ සිටි නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියගෙන් ඉල්ලා සිට තිබේ. ඔවුන් පවසා ඇත්තේ උද්‍යාන පාලන අංශය සතුව ගස් කපන්නෙකු නොමැති නිසා එය සිදුකළ නොහැකි බවයි.
උද්‍යාන පාලකවරයාගේ රාජකාරි වගකීම එසේ වුවත් සංඝාරාමයේ නේවාසික හිමිවරුන්ට සහ සාරානන්ද හිමියන්ට ගස් උඩින් පැන විශ්වවිද්‍යාලයට පැමිණීමටත්, නැවත සංඝාරාමයට යාමටත් නොහැක. එසේම මාර්ග අවහිරතාවය ඉවත් කරන තෙක් නේවාසික හිමිවරුන්ට අවශ්‍ය දානය ඇතුළු සැපයුම් සිදුකිරීමට හැකියාවක් නැත. මෙම වගකීම අවබෝධ කරගත් සාරානන්ද හිමියන් තම පෞද්ගලික මුදලින් ගස් කපන්නෙකු ගෙන්වා එම ගස කපා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
විශාල භූමි ප්‍රදේශයක විසිරී තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තැන් තැන්වල වටිනා ගස් බිම වැටී පොළවට පස්වන තෙක් දිරා යනු මේ මොහොතේ එහි යන කෙනෙකුට වුවද දැකබලා ගත හැකිය. දිරාපත්වෙමින් තිබෙන මෙම වටිනා දැව කිසියම් ඵලදායී කටයුත්තකට යොදාගැනීමට මහජන මුදලින් වැටුප් ලබන උද්‍යාන පාලකවරයාට හැඟීමක් හෝ උවමනාවක් නැත. මෙවැනි තවත් කොස් ගසක් සංඝාරාම භූමියේ අප පෙර සඳහන් කළ මාර්ග අවහිරතාවයට හේතු වූ ගස අසලම බිම වැටී වර්ෂ ගණනාවක් දිරාපත් වෙමින් තිබී ඇත.
ඒ අනුව සාරානන්ද හිමියන්, අප මෙහි මතු විස්තරාත්මකව සඳහන් කිරීමට බලාපොරොත්තු වන සංඝාරාම විහාර භාරකාර මණ්ඩලයේ අවසරය ලබාගෙන මාර්ගය හරහා වැටුණු ගස කපා ඉවත් කිරීමට ගෙන්වාගත් ගස් කපන්නා මගින්ම ඒ අසල බිම වැටී දිරාපත්වෙමින් තිබූ කොස් ගසද කපා දැව බවට පත්කර, සංඝාරාමයේ නේවාසික හිමිවරුන්ගේ භාවිතය සඳහා ඉදිකිරීමට යෝජනා වී තිබූ පුස්තකාලය සඳහා භාවිතා කිරීමට සුරක්ෂිතව ගබඩා කර තබා තිබේ.
මෙම ගස වටිනා දැව වර්ගයන්ට අයත් කොස් ගසක් වන බැවින් එය කපා දැව බවට පත් කිරීමට පෙර සංඝාරාමයේ ශාලාධිපති ලෙස කටයුතු කළ, ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මදුරාවල සෝභිත හිමියන්ට, සංඝාරාම භාරකාර මණ්ඩලයේ ලේකම්වරයාට, වසම භාර ග්‍රාම නිලධාරීවරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාටද දැනුම් දීමට සාරානන්ද හිමියන් කටයුතු කර තිබේ.
ඒ අනුව අදාළ කොස් ගස කපා දැව බවට පත්කර එම දැව සංඝාරාමයේ ගරාජයේ සුරක්ෂිතව ගබඩා කර තිබී ඇත. ඉදිකිරීමට යෝජිත පුස්තකාලයේ ඉදිකිරීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම දැව සම්බන්ධ චෝදනාව කරළියට ගෙන එන 2024 දෙසැම්බර් මස වන තෙක් වසර 3ක් මෙම දැව කිසිදු ගැටලුවකින් තොරව සංඝාරාම ගරාජයේ තැන්පත්ව තිබුණි. යම් හෙයකින් එම කාල සීමාවේදී පුස්තකාලය ඉදිකෙරී අවසන්ව තිබුණා නම් මෙම කොස් දැව තිබිය හැක්කේ එකී පුස්තකාලයේ වහලයේ හෝ අල්මාරි වැනි කොටස්වල බව අනුමාන කළ හැක.
ඉඩමේ අයිතිය නොමැතිව කොස් ගසට චෝදනා කළ මන්දබුද්ධික විමර්ශන මණ්ඩලය ගැන ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
– මතු සම්බන්ධයි.
















