ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) දකුණු ලෙබනනයේ පිහිටි ඊශ්‍රායල ආරක්ෂක කලාපය (Security zone) වෙත ක්ෂණික සංචාරයක නිරත වෙමින් එහි සිටින පෙරමුණේ සටන් වදින ඊශ්‍රායල සෙනෙවියන් සහ සෙබළුන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. ජූනි 30 වනදා සිදු වූ මෙම සංචාරය විවිධ ජාත්‍යන්තර මාධ්‍ය සහ වීඩියෝ දර්ශන මඟින් ද මේ වන විට තහවුරු කර ඇත.
එහිදී අදහස් දක්වමින් ඊශ්‍රායල රජය අවධාරණය කර ඇත්තේ හෙස්බොල්ලා (Hezbollah) සංවිධානයෙන් එල්ල වන තර්ජන සම්පූර්ණයෙන්ම තුරන් කරන තුරු තමන් එම කලාපයෙන් ඉවත් නොවන බවයි. ඇමරිකානු මැදිහත් වීමෙන් ඇති කරගත් නවතම එකඟතා රාමුව (Framework) යටතේ ඇතැම් නියමු ප්‍රදේශවල (Pilot areas) සීමිත පාලන බලතල පැවරීම් සිදු වුවද, හෙස්බොල්ලා සංවිධානය සම්පූර්ණයෙන් නිරායුධ කරන තුරු මෙම ආරක්ෂක බෆර් කලාපය (Buffer zone) අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලය පවසයි.
ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම දිගුකාලීන හමුදා රැඳී සිටීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු මෙහිදී සෙබළුන් හමුවේ නැවත වරක් ප්‍රකාශ කර තිබේ.
















