දකුණු අප්‍රිකාව තුළ වෙසෙන ලේඛනගත නොකළ (Undocumented) විදේශීය සංක්‍රමණිකයන්ට රටින් පිටවීම සඳහා ලබාදී තිබූ අවසාන දිනය අදට (30) යෙදී තිබීම හේතුවෙන්, විදේශිකයන්ට එරෙහි දකුණු අප්‍රිකානු වැසියන් රට පුරා නගර රැසක දැවැන්ත විරෝධතා පාගමන් ආරම්භ කර තිබේ. විරෝධතාකරුවන් ජාතික ධජයන් දරා සහ ලී මුගුරු වැනි ආයුධ අතැතිව වීදි බැස ඇති අතර, ඇතැම් ප්‍රදේශවලින් ප්‍රචණ්ඩ ක්‍රියා, වෙඩි තැබීම් සහ වෙළඳසැල් කොල්ලකෑම් ද වාර්තා වේ.
පසුගිය මාස කිහිපය පුරා පැවති නොසන්සුන්තා හේතුවෙන් මේ වන විටත් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විදේශිකයන් දහස් ගණනක් තම නිවාස සහ දේපළ අත්හැර පලා ගොස් තිබේ. ජොහැන්නස්බර්ග් සහ ඩර්බන් වැනි ප්‍රධාන නගරවල පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිත කරමින් කලහකාරීන් පාලනය කිරීමට උත්සාහ කරන අතර, ආරක්ෂාව සඳහා හමුදාව ද සූදානම් කර ඇති බව වාර්තා වේ. විරෝධතා මෙහෙයවන සංවිධාන පවසන්නේ තම ඉලක්ක සපුරා ගන්නා තෙක් සතිපතා මෙම පාගමන් පවත්වන බවයි.
රටේ පවතින විරැකියාව සහ ආර්ථික අපහසුතාවලට විදේශිකයන් වගකිව යුතු බවට විරෝධතාකරුවන් චෝදනා කරන නමුත්, දේශපාලන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එම චෝදනාවලට පැහැදිලි සාක්ෂි නොමැති බවයි. කෙසේ වෙතත්, එළඹෙන නොවැම්බර් මැතිවරණය ඉලක්ක කරගනිමින් ඇතැම් දේශපාලනඥයන් ද මෙම මතවාදයන් ප්‍රවර්ධනය කරන බවට විවේචන එල්ල වේ. තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසා (Cyril Ramaphosa) කියා සිටියේ ජනතාවගේ ගැටලු සාධාරණ වුවත්, විරෝධතා දැක්වීමේ අයිතිය යටතේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවයි.















