ජර්මනියේ දේශීය ඔත්තුසේවා සහ බුද්ධි අංශ එරට තුළ ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින “වාමකාමී ත්‍රස්තවාදය” (Left-Wing Terrorism) සම්බන්ධයෙන් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ. පසුගිය ජනවාරි මාසයේදී බර්ලින් අගනුවර විදුලි බලාගාරයකට සැපයුම ලබාදෙන අධි-වෝල්ටීයතා රැහැන් පද්ධතියකට “වල්කන් ගෲප්” (Vulkan Group) නමැති වාමකාමී අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ගිනි තැබීමේ ප්‍රහාරය මෙයට ආසන්නතම සහ ප්‍රබලම උදාහරණයයි. එම ප්‍රහාරය හේතුවෙන් දින කිහිපයක් පුරා පුද්ගලයන් 45,000කට සහ ව්‍යාපාරික ස්ථාන 2,000කට අධික ප්‍රමාණයකට විදුලිය ඇනහිට තිබුණි.
මෙම සිදුවීමෙන් සති තුනක් ගතවුවද ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් සොයාගැනීමට ජර්මානු බලධාරීන් අපොහොසත් වී ඇත. මේ හේතුවෙන් සැකකරුවන් සොයා දෙන අයෙකුට යුරෝ මිලියනයක ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කිරීමට, උමං දුම්රිය ස්ථානවල පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට සහ මෙවැනි යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නව දැඩි නීති පැනවීමට බර්ලින් බලධාරීන්ට සිදුවිය.
ජර්මානු බුද්ධි අංශ දශක ගණනාවක් තිස්සේ දක්ෂිණාංශික අන්තවාදය (Far-Right Extremism) නිරීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් ජාල ගොඩනඟා තිබුණ ද, වාමකාමී අන්තවාදය නොසලකා හැරීම හෝ එය නොවැදගත් ලෙස සැලකීම හේතුවෙන් වත්මන් තත්ත්වය පාලනය කිරීම අසීරු වී තිබේ. තමන්ගේ සියලු තොරතුරු සහ සාක්ෂි සම්පූර්ණයෙන්ම වසාගනිමින් ඉතා සංකීර්ණ සහ සූක්ෂ්ම ලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කරන මෙම වාමකාමී කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා ජර්මානු බුද්ධි අංශවලට දැන් මුල සිටම නව බුද්ධි ජාල සහ ශක්තීන් ගොඩනැඟීමට සිදුව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















