විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට පළමු වැනි ශ්‍රේණියට පාසල් ඇතුළත් කිරීමේදී මෙතෙක් පැවැති අයිතිවාසිකම් අහිමි කිරීමට එරෙහිව, ජාතික තලයේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම සහ උත්තර පත්‍ර පරීක්ෂාව ඇතුළු සියලුම සාමාන්‍ය අධ්‍යාපන සේවාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ සූදානමක් පවතින බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අනතුරු අඟවයි.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉකුත් ජූනි 25 වැනිදා නිකුත් කරන ලද 25/2026 දරන නව පාසල් චක්‍රලේඛය මඟින් මෙම අසාධාරණය සිදුව ඇති බව පවසමින් එම සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් ද යොමුකර තිබේ. සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ දැක්වෙන්නේ, නව චක්‍රලේඛයේ 7.5 අනු අංකය යටතේ ආචාර්යවරුන්ගෙන් අතිශය සංවේදී සහ රහස්‍ය තොරතුරු බලහත්කාරයෙන් ඉල්ලා ඇති බවයි.
විශේෂයෙන්ම ජාතික විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීම වැනි රහස්‍ය රාජකාරි තොරතුරු මෙලෙස ප්‍රසිද්ධ කිරීමට සිදු වීමෙන් සමස්ත ජාතික විභාග ක්‍රියාවලියේම රහස්‍යභාවය බරපතළ ලෙස උල්ලංඝනය වන බව FUTA සංගමය පෙන්වා දෙයි. මීට පෙර විශේෂ කැබිනට් තීරණ මඟින් ලබා දී තිබූ මෙම පාසල් ප්‍රතිපාදන අහෝසි කිරීම හරහා තමන්ගේ සේවය ලඝු කොට සලකා ඇති බවට ඔවුහු චෝදනා කරති. මේ සඳහා කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී ජාතික විභාග, ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාසල් වැඩමුළු ඇතුළු සාමාන්‍ය අධ්‍යාපනයට සම්බන්ධ සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ද ඔවුහු අවධාරණය කරති.














