ගම්පහ ඔස්මන් නමැත්තාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර, ඒ පිළිබඳව කරුණු අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (06) කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අදාළ නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්ය.
ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු වන ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කිරීම මෙහි අරමුණ වී ඇත. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදන කොපියක් සහ ඝාතනයට ලක් වූ ගනේමුල්ල සංජීවට එරෙහිව පවතින පෙර වැරදි ලේඛනයක් සොයා ගැනීමට හැකි වූ බව ද කොළඹ අපරාධ කොට්ඨාශය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
















