තිස්සමහාරාම – මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට, කොහොලංකල් ප්‍රදේශයේදී අද (05) පස්වරුවේ දරුණු රිය අනතුරක් සිදුව තිබේ. ධාවනය වෙමින් තිබූ අයිස්ක්‍රීම් අඩංගු ජංගම වෙළෙඳ රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පසෙක තිබූ ගසක තදින් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ප්‍රහාරයේ වේගය හේතුවෙන් අයිස්ක්‍රීම් ලොරියේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ජංගම වෙළෙඳ රථයේ ඉදිරිපස ගමන් කළ රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනාම බරපතළ තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව තුවාලකරුවන් බේරාගෙන කඩිනමින් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. රථයේ කාර්මික දෝෂයක් හෝ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව ද යන්න පිළිබඳව හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















