තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතාගේ 2028 ඔලිම්පික් උළෙල දක්වා වන සියලුම ක්‍රීඩා හා සුභසාධන වගකීම් භාර ගැනීමට ඇක්සස් සමාගම (Access Solar Pvt Ltd සහ Access Real Estate/Residencies) එකඟතාව පළ කර තිබේ.
මෙම ගිවිසුම යටතේ රුමේෂ් තරංග අදාළ සමාගම්වල නිල සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර, ඊට අදාළ නිල අවබෝධතා ගිවිසුම අද දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන් තබන ලදී.
මෙම අනුග්‍රාහකත්වය හරහා 2028 ඔලිම්පික් ඉලක්කය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයාට සහ පුහුණුකරුට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම්, පෝෂණ පහසුකම් සහ අනෙකුත් සියලුම මූල්‍ය දායකත්වයන් අඛණ්ඩව සැපයීමට ඇක්සස් සමාගම කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග චන්දන සෙනෙවිරත්න යන මහත්වරුන් සහභාගී වූහ. තවද ඇක්සස් සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ඉරංග කුරේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















