මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම සිද්ධිය හේතුවෙන් ඩෙංගු රෝගය වැළඳී රැඳවියන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
රැඳවියන් 40 දෙනෙකු මියගියේ නම් මෘත දේහ තිබිය යුතු බව පවසමින් අමාත්‍යවරයා එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළේය. බන්ධනාගාරය තුළ කිහිප දෙනෙකුට උණ රෝගය වැළඳී තිබූ බවත්, සිද්ධියට පෙර දිනයේ වාර්තා වූයේ එක් අයෙකුට පමණක් බවත්, එම රෝගියාට ද අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් හේතුවෙන් කිසිදු රෝගියෙකු මිය ගොස් නොමැති බව අමාත්‍යවරයා පැවසූ අතර, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි රෝගීන් අවට පිහිටි රෝහල් වෙත යොමු කිරීම රජයේ ක්‍රමවේදය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට අදාළව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිදු බුද්ධි තොරතුරක් කලින් ලැබී නොතිබූ බවයි. රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොවන පරිදි නිලධාරීන් යොදවා තිබූ බවත්, එම නිසා හානිය අවම කර ගැනීමට හැකි වූ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, පසුව රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිත කර සිහි විකල් තත්ත්වයෙන් සිටීම හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බවත්, එය සමනය කිරීමට නිලධාරීන් සිය ජීවිත පරදුවට තබා කටයුතු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.
සිද්ධිය පිළිබඳව සොයා බැලීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, මීගමුව පොලීසිය, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙන වෙනම පරීක්ෂණ පවත්වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.















