මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (07) පැවැති මාධ්‍ය හමුවේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් කලින් ලැබී නොතිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, මීගමුව පොලීසිය, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙන වෙනම පරීක්ෂණ පවත්වන බව අමාත්‍යවරයා පැවසීය. සිද්ධිය වූ දින වන විට රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොවන පරිදි නිලධාරීන් යොදවා තිබූ බවත්, එම නිසා හානිය අවම කර ගැනීමට හැකි වූ බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. පස්වැනිදා වන විට තත්ත්වය පාලනය කර තිබුණද, පසුව රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිත කර සිහි විකල් තත්ත්වයෙන් සිටීම හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බවත්, එය සමනය කිරීමට නිලධාරීන් සිය ජීවිත පරදුවට තබා කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















