මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මුල් කරගනිමින් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද, එවැනි බලපෑම්වලට යටත් වී තමා ඉල්ලා අස් නොවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.
තමා එම ධුරයෙන් ඉවත් කිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත්, යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කළහොත් පමණක් තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුව මේ වන විට ඉතා ස්වාධීනව සිය කටයුතු සිදු කරමින් පවතින බවත්, එම ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන රැඳවියන් ලබා දෙන ප්‍රකාශ විමර්ශනවල සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඉතා වැදගත් වනු ඇති බවත් හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















