මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුව දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවත්, එම තත්ත්වය හේතුවෙන් තවත් සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා චෝදනා කරයි.ඔහු පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු මියයාමට ප්රතිචාරයක් ලෙස නිලධාරීන් විසින් මෙම රැඳවියන්ගෙන් පළිගැනීමේ මෙහෙයුමක් ක්රියාත්මක කරමින් සිටින බවයි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කළ විශාල පිරිසකට කපා ගන්නා ලද ජල නල භාවිත කරමින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, ඉන් රැඳවියන්ගේ පිටවල් පැළී බරපතළ තුවාල සිදුව ඇති බවත් ඔහු අනාවරණය කරයි.බූස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියෙකුගේ මරණය හදිසි අසනීප තත්ත්වයක් ලෙස බලධාරීන් ප්රකාශ කළද, එය පහරදීමක් නිසා සිදුවූවක් බවට තමන් සැක කරන බව ඔහු පවසයි. මීට අමතරව වැලිකඩ බන්ධනාගාරය තුළ ද පහරදීමක් හේතුවෙන් තවත් රැඳවියෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කරයි.රැඳවියන් මාරු කිරීමේදී නිසි ලේඛන හෝ ලිපිගොනු නොමැතිව සිදු කිරීම නිසා සිදුවන මරණ සහ තුවාල කිරීම් වසන් කිරීමට බලධාරීන්ට පහසු වී ඇති බව ඔහු පවසයි.නිලධාරීන් 7 දෙනෙකු මියයාම පිළිබඳව කනගාටුව ප්රකාශ කරන අතරම, ඊට පළිගැනීමක් ලෙස රැඳවියන් 21ක් මිය යා යුතු බවට වන මතයක බන්ධනාගාර නිලධාරීන් සිටින බව පෙනී යතැයි ද ඔහු චෝදනා කරයි.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීමට සහ අමානුෂික වධහිංසා නතර කිරීමට වහාම ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කරන ලෙසත්, මානව හිමිකම් කොමිසම ඇතුළු වගකිවයුතු ආයතන මේ පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙසත් නන්දිමාල් මහතා ඉල්ලා සිටී.
















