කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, අද (10) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
එමෙන්ම මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ සබරගමුව පළාත්වලත් මෙන්ම මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40-50ත් අතර තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















