ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී අද (10) මිහිදන් කෙරිණි. ඉරානය සහ ඉරාකය හරහා දින හයක් පුරා පැවැති දැවැන්ත මහජන ශෝක උත්සවවලින් අනතුරුව අවසන් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය මිහිදන් කරන ලදී.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයේ පිහිටි සිය නිවසට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මෙම සිදුවීම් මාලාවට මුල් විය. අද උදෑසන ඉරාකයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් කමේනිගේ සහ ඔහුගේ පවුලේ ඥාතීන්ගේ දේහයන් මෂ්හද් වෙත රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර නැවතත් ප්‍රහාර හුවමාරුවක් වාර්තා වී තිබේ. ටෙහෙරානය සහ මෂ්හද් නගරය යා කරන දුම්රිය මාර්ගයේ පාලම් දෙකකට අමෙරිකාව විසින් බෝම්බ හෙලූ බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය චෝදනා කරයි. මෙම නව ආතතිකාරී තත්ත්වය, කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවැති මූලික එකඟතාවලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ අතර, උත්තරීතර නායක ධුරයට පත් කර ඇති අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් පවතී. පෙබරවාරි මාසයේ සිදු වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු, ඉරානයේ පැවැති අවමංගල්‍ය උත්සව කිසිවකට සහභාගි වී නොමැත. අද පැවැති අවසන් මිහිදන් කිරීමේ අවස්ථාවට ද ඔහු සහභාගි වූ බවට මෙතෙක් කිසිදු නිල තහවුරු කිරීමක් ලැබී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
















