එමිරේට්ස් (Emirates) ගුවන් සේවය විසින් ඩුබායි සහ කොළඹ (කටුනායක) අතර දැනට ක්‍රියාත්මක කෙරෙන Airbus A350 ගුවන් යානා මෙහෙයුම් ලබන අගෝස්තු මස 08 වැනිදා සිට තවදුරටත් පුළුල් කරමින්, දෛනිකව ක්‍රියාත්මක වන දෙවැනි A350 ගුවන් සේවාව ද හඳුන්වා දීමට තීරණය කර ඇත. මේ දක්වා EK648/649 ගුවන් වාරය සඳහා යොදාගත් බෝයිං 777 (Boeing 777) යානය වෙනුවට මෙම නවීන පරපුරේ Airbus A350 යානය ආදේශ කෙරෙනු ඇත. මේ හරහා ශ්‍රී ලංකාවට සහ ලංකාවෙන් පිටතට ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් පවතින ‘ප්‍රීමියම් ඉකොනොමි’ (Premium Economy) අසුන් සංඛ්‍යාව දෙගුණයක් වන අතර, වඩාත් ඉඩකඩ සහිත අසුන්, 4K HDR තිර සහ වේගවත් Wi-Fi ඇතුළු නවීනතම ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් රැසක් මගීන්ට භුක්ති විඳිය හැකිය. එමිරේට්ස් මේ වන විට කොළඹ සහ ඩුබායි අතර දෛනික ගුවන් වාර 4ක් ක්‍රියාත්මක කරයි.
















