විදේශගත ශ්‍රමිකයන් (රටවිරුවන්) වෙනුවෙන් වඩාත් විධිමත් සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඊයේ (10) අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රටේ ආර්ථිකයේ ප්‍රධාන ජීවනාලිය වන විදේශගත ශ්‍රමිකයන් 17 ලක්ෂයක පමණ පිරිසක් සිටියද, වත්මන් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇත්තේ ඉතා අවම පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම නව යෝජනා ක්‍රමය යටතේ ශ්‍රමිකයාගේ සේවා කාලය සහ ආදායම් මට්ටම අනුව තෝරාගත හැකි නම්‍යශීලී විකල්ප හඳුන්වා දෙනු ලැබේ. ඒ අනුව සේවා කාලය අවසානයේ මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ කල් පිරුණු පසු එකවර ලැබෙන ස්ථාවර මුදලක් ලෙස ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රමිකයාට හිමි වේ. මෙම යෝජනා ක්‍රමය වෙනුවෙන් කුවේට් අරමුදලින් රුපියල් බිලියන 2.1ක මුදලක් වෙන් කර ඇත.
ප්‍රේෂණ වාර්තා නිවැරදිව පවත්වා ගැනීමට සහ විනිවිදභාවය තහවුරු කිරීමට ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව විශේෂිත යෙදවුමක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇත. මෙම සමස්ත වැඩපිළිවෙළ ශ්‍රමිකයාගේ ස්වේච්ඡා කැමැත්ත මත පමණක් ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය මෙහෙයවනු ඇත. 2026 දෙසැම්බර් 31 වන විට මෙම ව්‍යාපෘතියේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට රජය අපේක්ෂා කරයි.
















