2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කළුතර දිස්ත්‍රික් සංචාරක අනුකමිටුව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, වර්තමානයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගේ සාමාන්‍ය වියදම ඇමරිකානු ඩොලර් 148ක් ලෙස සටහන් වේ. කෙසේ වෙතත්, 2018-2019 කාලසීමාවේදී මෙම අගය ඇමරිකානු ඩොලර් 171ක් ලෙස පැවති අතර, 2030 වසර වන විට එම මට්ටම ඉක්මවා යාම රජයේ අපේක්ෂාවයි. කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක හැසිරීම් රටාවන් සහ වියදම් රටාවන් වෙනස් වී ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනය කරමින්, සංචාරක අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් මෙම ඉලක්කය සපුරා ගැනීමට රජය සැලසුම් කර තිබේ.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ වඩාත් ආකර්ෂණීය සංචාරක අත්දැකීම් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














