පලස්තීනයේ ප්‍රධාන ආර්ථික සහ කාර්මික මධ්‍යස්ථානයක් වන නැබ්ලස් (Nablus) සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබේ.
පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ෆාරුක් මොහොමඩ් ෆවුසර් සහ නැබ්ලස් ආණ්ඩුකාර ගසාන් ඩග්ලස් යන මහත්වරුන් අතර නැබ්ලස්හි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නිල හමුවකදී මෙම සාකච්ඡා පවත්වන ලදී.
පලස්තීනයේ ඓතිහාසික නිෂ්පාදන හදවත ලෙස සැලකෙන නැබ්ලස් ප්‍රදේශය ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, ගල් සහ කිරිගරුඬ කර්මාන්තය, ආහාර සැකසීම, ඖෂධ නිෂ්පාදනය සහ සාම්ප්‍රදායික සබන් නිෂ්පාදනය සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලන අතර, එම කාර්මික ශක්තිය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව සහ නැබ්ලස් අතර සෘජු වෙළෙඳ සබඳතා ගොඩනැඟීම පිළිබඳව සාකච්ඡා විය.
පලස්තීනයේ වාණිජ ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රකාශ කළ නියෝජිත ෆවුසර් මහතා, 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “Sri Lanka Expo 2027” ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස නැබ්ලස් ව්‍යාපාරික ප්‍රජාවට නිල වශයෙන් ආරාධනා කළේය.














