පරිසර සංරක්ෂණයේ දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ ගැසට් පත්‍රයට පරිසර අමාත්‍යාංශයේදී නිල වශයෙන් අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ.
රජයේ “තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක වන “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ මෙම වැදගත් තීරණය ගෙන තිබෙනවා. ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, “වනස්පති” ජාතික වැඩසටහන යටතේ සිදුකළ මෙම පියවර හරහා පරිසර පද්ධතියට ලැබෙන ආරක්ෂාව සුළුපටු නැහැ.
මෙලෙස අලුතින් රක්ෂිත බවට පත්වූ කඩොලාන වනාන්තර 08 හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 176.67ක් වන අතර, තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව යන සුවිශේෂී වනාන්තර ප්‍රදේශ මීට අයත් වෙනවා. පසුගිය 2025 වසරේදීද මෙලෙස හෙක්ටයාර් 67ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට කටයුතු කර තිබුණා.
ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන භූමි ප්‍රමාණයෙන් විශාලතම කොටසක් පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති අතර, මෙරටින් කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙම පරිසර පද්ධති සුරක්ෂිත කිරීම හරහා අනාගත පරම්පරාවට සිදුවන සේවය අතිමහත් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
මෙසේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් පියවර පිළිබඳව සමාජ මාධ්‍ය තුළද පරිසර හිතකාමී ජනතාවගේ දැඩි ඇගයීමක් හිමිවෙමින් පවතිනවා. ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගැනීමට බලධාරීන් දක්වන මෙම උනන්දුව අගය කළ යුතු බව බොහෝ දෙනා පවසනවා.














