මැලේසියානු ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර බුද්ධි අංශ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී ප්‍රබල පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයා වන ‘රත්මලානේ කුඩු සයිමා’ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වුවද, එම අවස්ථාවේදී කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශවල දැඩි අවධානය යොමුව තිබේ. අදාළ මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් පළා ගොස් ඇද්ද නැතහොත් ආරක්ෂක අංශ වෙත නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වූයේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම් විසින් පරීක්ෂණ පවත්වමින් සිටියි.
මැලේසියානු ආරක්ෂක අංශ විසින් කුඩු සයිමා සමඟ ඔහුගේ අපරාධ ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ කංජිපානි ඉම්රාන්ද සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. එහෙත්, වැටලීම සිදුවන මොහොතේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඔහු කඩිනමින් එම ස්ථානයෙන් පැන යන්නට ඇති බවට බුද්ධි අංශ සැක පළ කරන අතර, ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන මෙම පාතාල නායකයා යම් දේශපාලන හෝ වෙනත් බලවත් පාර්ශ්වයක කඩිනම් මැදිහත්වීමකින් එලෙස ආරක්ෂා වන්නට ඇද්ද යන්න පිළිබඳවද සැකයක් මතු වී තිබේ.
මෙරටට සහ කලාපීය ආරක්ෂාවට දැඩි තර්‌ජනයක් වී ඇති කංජිපානි ඉම්රාන් නැවත වරක් නීතියේ රැහැනින් මිදී සිටීම බරපතළ තත්ත්වයක් වන බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රෝයල් මැලේසියානු පොලිසිය සහ ඉන්ටර්පෝල් සංවිධානය සමඟ එක්ව ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන අංශ මේ වන විට විශේෂ මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. අත්අඩංගුවට පත් කුඩු සයිමා ඇතුළු පිරිසගෙන් සිදු කරන දීර්ඝ ප්‍රශ්න කිරීම් හරහා කංජිපානි ඉම්රාන් සැඟවී සිටින ස්ථාන සහ ඔහුට උදව් කළ පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














