මැලේසියාවේදී අත්අඩංගුවට පත් ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ කුඩු සයිමා’ ඇතුළු පිරිසට මෙරටින් පළා යාමට සහ විදේශගතව සිටියදී රැකවරණය ලබා දීමට හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ඉම්තියාස් කාදර් නමැත්තෙකු උදව් කර ඇති බවට බුද්ධි අංශ වෙත දැඩි සැකයක් මතුව තිබේ. ‘කංජිපානි ඉම්රාන්’ සමඟ සිටියදී මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය ජාලයට, නීතියේ රැහැනින් මිදී විදේශයන්හි රැඳී සිටිමින් ජාවාරම් මෙහෙයවීම සඳහා මෙරට ප්‍රබල දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
එසේම මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන ඉම්තියාස් කාදර් නමැත්තා, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සහ අදාළ දේශපාලනඥයන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ප්‍රධාන පුරුක ලෙස කටයුතු කර ඇත්දැයි යන්න පිළිබඳවද විමර්ශන කණ්ඩායම්වල විශේෂ අවධානය යොමුව තිබේ. මෑතකදී මෙරට විවිධ ප්‍රදේශවල ආරක්ෂාවට සහ සංස්කෘතික උත්සවවලට පවා තර්‌ජන එල්ල කළ මෙම පාතාල ජාලයේ මෙරට දේශපාලන සබඳතා පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී මෙරටට ගෙන ඒමෙන් පසු සිදු කරන දීර්ඝ ප්‍රශ්න කිරීම් හරහා, මෙම මත්ද්‍රව්‍ය ජාලයට සහාය දුන් හිටපු ඇමැතිවරුන් ඇතුළු දේශපාලන බලධාරීන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරකම් මර්‌මස්ථාන වෙත දේශපාලන අනුග්‍රහය ලබා දුන් පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට ආරක්ෂක අංශ දැඩි පියවර ගනිමින් සිටිති.














