මේ වසරේ (2026) මෙතෙක් ගෙවුණු කාලය තුළ දිවයිනෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
එම සංඛ්‍යාව රෝගීන් 17,779 ක් (සමස්තයෙන් 21.25%) වන අතර, දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව 16,665 ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඊට අමතරව මහනුවරින් රෝගීන් 5,753 ක් සහ මාතරින් රෝගීන් 5,703 ක් ලෙස වාර්තා වී ඇත. මුලතිව් දිස්ත්‍රික්කයෙන් අවම රෝගීන් සංඛ්‍යාව (49ක්) වාර්තා වේ.
මේ වන විට සමස්ත ඩෙංගු රෝගීන් 83,661 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 44,359 ක්ම (53.02%) බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි. එසේම ජූලි මාසය තුළ පමණක් රෝගීන් 28,287 ක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසරේ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු මියගොස් ඇති අතර, මෙය 2020 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවයි. 2024 සහ 2025 වසරවලට වඩා මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.














