ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනයේ (ITTF) අවුරුදු 11න් පහළ බාලක අංශයේ ලෝක අංක එකේ ස්ථානය දිනාගනිමින් ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ගෝලීය අංක එකේ ශ්‍රේණිගත කිරීමකට හිමිකම් කිව් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වූ 11 හැවිරිදි තාවි සමරවීර, ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සහ පුහුණු කඳවුරු මාලාවක් සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.
ඒ අනුව අගෝස්තු 24 සිට 27 දක්වා පැවැත්වෙන ස්ලෝවේනියා WTT යොවුන් තරගාවලිය, අගෝස්තු 29 සිට 31 දක්වා පැවැත්වෙන ක්‍රොඒෂියා WTT යොවුන් තරගාවලිය (වරාස්ඩින්), සැප්තැම්බර් 1 සිට 18 දක්වා පැවැත්වෙන ස්වීඩන් ජාත්‍යන්තර පුහුණු කඳවුර සහ සැප්තැම්බර් 25 සිට 27 දක්වා පැවැත්වෙන ජෝර්ජියා WTT යොවුන් තරගාවලිය (ටිබිලිසි) වෙත ඔහු සහභාගී වීමට නියමිතය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තාවි, මීට පෙර ඉතාලියේ ලිග්නානෝ, කටාර්හි දෝහා සහ බහරේන් වැනි රටවල පැවති තරගාවලිවලදී රන් පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් මේ වන විට දකුණු ආසියානු කලාපයේ අවුරුදු 11න් පහළ සහ 13න් පහළ යන කාණ්ඩ දෙකෙහිම ප්‍රථම ස්ථානය රඳවාගෙන සිටී.
















