දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා තිබේ.
මෙම සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටි අතර, නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේය. සැකකරු අද දින විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා රජයේ රුපියල් මිලියන 25ක වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු, 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් නිලධාරීන්ට බලපෑම් කරමින් දේශපාලන හිතවතුන් මඟින් බෙදා දී රජයට පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත පසුගිය ජූලි 4 වැනිදා අල්ලස් කොමිසම විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.
















