ගෙවතු වගා පාසල් පෝෂණ වැඩසටහන (Home-Grown School Feeding Programme – HGSF) යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත කෘෂිකාර්මික උපකරණ භාරදීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මේ වන විට මෙරට පාසල් 2,013ක සිසුන් තුන් ලක්ෂයකට අධික පිරිසකට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට සහාය හිමි වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් පාසල් 400ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පාසල් දරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීම, දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු කාර්යක්ෂම කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත සහ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















