ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව විධිමත්ව සපුරාලීමේ අරමුණින් ඉදිකරන ලද ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් රුපියල් මිලියන 225ක පිරිවැයක් දරා ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියට දිනකට ජලය ඝන මීටර් 500ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් සහ ඝන මීටර් 80ක ජල ගබඩා ටැංකියක් ඇතුළත් වේ.
මීට අමතරව, නවීන යාන්ත්‍රික හා විදුලි උපකරණ, ක්ලෝරිනීකරණ පද්ධතිය, පොම්පාගාරය, කාර්යාලයීය පහසුකම් සහ රසායනික ගබඩාවද මෙම පද්ධතිය තුළ ඇතුළත්ය.
ලුණුවත්ත, පන්නලවෙල සහ රහුපොල යන ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 4,000කට ආසන්න සංඛ්‍යාවකට සෘජු පානීය ජල පහසුකම් සැලසේ. ඒ යටතේ නව ජල සම්බන්ධතා 350ක් ලබාදීමටත්, පවතින ජල සම්බන්ධතා 650ක් වැඩිදියුණු කිරීමටත් කටයුතු යොදා ඇත.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම මගින් ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලැබෙන අතර, ගුණාත්මක, සුරක්ෂිත හා විශ්වාසදායක පානීය ජල සැපයුමක් තහවුරු කිරීමට හැකිවනු ඇත.
මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැති මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, ඌවපරණගම ප්‍රාදේශීය සභා සභාපති දිනදාස රත්නායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.
















