පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් දැඩි ලෙස පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව, සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව 18%ක් දක්වාත්, හුරුළු වැවේ ජල මට්ටම 24%ක් ලෙසත් අඩු වී තිබේ. මීට අමතරව ඇතැම්මලේ වැව 5%ක්, මොරවැව 9%ක්, වෙහෙරගල ජලාශය 15%ක්, කවුඩුල්ල වැව 20%ක්, පදවිය වැව 22%ක් සහ තබ්බෝව වැව 28%ක් ලෙස ජල ධාරිතාවන් පහළ ගොස් ඇත.
මේ අතර, අද දිනයේදීත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















