රටේ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමිතීන් සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලකයින් දැඩි නියාමන රාමුවකට යටත් කරමින් අනිවාර්ය ලියාපදිංචිය සහ වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පුළුල් පියවර ගනිමින් පවතී. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක නිර්දේශ මත පදනම් වන මෙම යෝජිත ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම සඳහා නව අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමට අදාළ නීති සම්පාදනය මේ වන විට කඩිනම් කර ඇත.
මෙම නව නියාමන රාමුව යටතේ ගුරුවරුන්ට අപുරටම උපදේශකයින්, ගුරු අධ්‍යාපනඥයින් සහ පාසල් මට්ටමේ පරිපාලකයන් මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන ද ආවරණය වන පරිදි බලපත්‍ර ප්රදානය කිරීම, ප්රමිතිකරණය, තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය සිදු කිරීමට නියමිතය. රජයේ අපේක්ෂාව වී ඇත්තේ මෙම ආයතනය හැකි ඉක්මනින් රට තුළ ක්‍රියාත්මක කිරීම වන අතර, අඛණ්ඩ ගුරු සංවර්ධනය තහවුරු කිරීම සඳහා විධිමත් වෘත්තීය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් ද මේ හරහා හඳුන්වා දීමට නියමිතව තිබේ.
මෙම වෘත්තීය බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට සමස්ත අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය ප්රමිතීන් මූලික වශයෙන් වෙනස් වන අතර, එයින් පාසල් සහ පෞද්ගලික අධ්‍යාපන අංශය තුළ ගුරු වෘත්තියේ වගකීම හා ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නැංවීමට මංපෙත් විවර වනු ඇත. කැබිනට් අනුමැතියෙන් අනතුරුව නීති කෙටුම්පත්කරු වෙත යොමු කර ඇති මෙම පනත් කෙටුම්පත හරහා අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරි පරිවර්තනයන් සඳහා අවශ්‍ය ශක්තිමත් නෛතික පදනම ඉදිරියේදී සම්පූර්ණ වනු ඇත.
















