නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10 කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව තිබේ.
නේපාල හමුදාව සඳහන් කළේ, ‘අපර් ත්‍රිශූලි-1′ (Upper Trishuli-1) ජල විදුලි ව්‍යාපෘතියට අයත් මීටර් 225 ක් දිගැති උමගක් තුළ සිරවී සිටි ‘ලූ හයිටාඕ’ (Lu Haitao) නමැති මෙම චීන ජාතිකයා මෙලෙස නිරුපද්‍රිතව මුදාගත් බවයි. පසුගිය අගෝස්තු 26 වැනිදා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයේ හිමකඳක් කඩාවැටීමත් සමඟ හදිසි ගංවතුරක් හටගත් අතර, ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ පුද්ගලයින් 900 දෙනෙකු පමණ සිරවී සිටින බවට විශ්වාස කෙරේ. මෙලෙස උමං මාර්ග තුළින් මෙතෙක් පණපිටින් මුදාගත් තෙවැනි පුද්ගලයා වන්නේ මෙම චීන ජාතිකයා වන අතර, මීට පෙර ‘අපර් ත්‍රිශූලි 3A’ ජල විදුලි මධ්‍යස්ථානයේ උමගකින් පුද්ගලයින් දෙදෙනෙකුද මුදාගැනීමට සමත් විය.
මුදාගත් චීන ජාතිකයාගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබූ අතර, ශරීර උෂ්ණත්වය අඩුවීමේ (Mild Hypothermia) ලක්ෂණ හැරුණු විට ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් මට්ටමක පවතියි. අධික ලෙස වෙහෙසට පත්ව සිටි ඔහුව හමුදා හෙලිකොප්ටර් යානයක් මඟින් වහාම හමුදා රෝහලක් වෙත යොමු කර තිබේ.
චීනයේ ටිබෙට් සීමාවට ආසන්න නේපාලයේ නගර සහ ගම්මාන රැසක් ගංවතුරට සහ මඩපහරට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 1,344 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය පවසන අතර, විදේශිකයින් 583 දෙනෙකු ඇතුළුව තවත් 4,887 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිති. මායිම් පාලමෙන් ඔබ්බෙන් පිහිටි චීනයේ ටිබෙට් කලාපයෙන්ද මරණ 31 ක් සහ අතුරුදන් වූවන් 531 දෙනෙකු වාර්තා වන බව ‘සින්හුවා’ පුවත් සේවය සඳහන් කරයි.














