ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ හට ඉදිරි ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් හිමි වනු ඇති බවට වාර්තා වේ. මීට සති කිහිපයකට පෙර ඔහුගේ තත්ත්වය අතිශය අවදානම් සහගත බව ජ්‍යෙෂ්ඨ පාපන්දු බලධාරීන් විශ්වාස කළද, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් දැනුවත් ආරංචි මාර්ග පවසයි.
එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන සභාපතිවරණය සඳහා ෆිෆා සාමාජික සංගම් අතරින් ප්‍රමාණවත් සහයෝගයක් දිනාගත හැකි ප්‍රබල විරුද්ධ අපේක්ෂකයෙකු තවමත් මතුවී නොමැත. නොවැම්බර් මාසය වන විට අපේක්ෂකයන් නම් කළ යුතු බැවින්, ඉන්ෆන්ටිනෝ පරාජය කිරීම වෙනුවට ඔහුගේ බලතල සීමා කිරීමේ අරමුණින් විරුද්ධවාදීන් සිය ඉදිරි උපායමාර්ග වෙනස් කිරීමට මේ වන විට අවධානය යොමු කරමින් සිටින බව සඳහන් වේ.














