සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කොළඹ විශ්වවිද්‍යාලය සහ යුනිසෙෆ් (UNICEF) ආයතනය එක්ව සිදුකළ පුළුල් සමීක්ෂණයකින් මෙරට දරුවන්ගේ දත් මැදීමේ පුරුදු සහ ඩිජිටල් තිර කාල සීමාවන් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. ඒ අනුව මෙරට දරුවන්ගෙන් 80%ක් පමණ දිනකට දෙවරක් දත් මැදීම සිදු නොකරන අතර, අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 64%කට වැඩි පිරිසකගේ ඩිජිටල් තිර කාලය නිර්දේශිත සීමාවද ඉක්මවා ගොස් ඇත.
මෙම සමීක්ෂණයට අනුව ඉන් දරුවන් 43%කට ආසන්න ප්‍රමාණයක් ආහාර ලබා ගන්නේද ජංගම දුරකථන සහ ටැබ් වැනි උපාංග වෙත යොමු කරවමිනි. එසේම දරුවන්ගෙන් 32%ක් ප්‍රමාණවත් නින්දක් නොලබන බවත්, 47%ක් පියවරුන් දරුවන් සමඟ සමීපව කටයුතු නොකරන පසුබිමක් පවතින බවත් හෙළි වී තිබේ. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ළමා සතියට සමගාමීව හඳුන්වා දෙන ‘Step Up’ මුල් ළමාවිය සංවර්ධන ජාතික වැඩසටහන හරහා දිවයිනේ පෙර පාසල් 19,000ක් සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගෙන ඇත.
















