ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවති ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) 70 වැනි මහා මණ්ඩල සැසියේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්රකාශනය ඉදිරිපත් කර තිබේ. වියානාහි ශ්‍රී ලංකා තානාපතිනි සහ නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය විසින් මෙම ජාතික ප්රකාශනය ඉදිරිපත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 1957 වසරේ සිට ශ්‍රී ලංකාව මෙම නියෝජිතායතනයේ සාමාජිකත්වය දරන අතර, න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍යය, ආහාර හා කෘෂිකර්මාන්තය යන ක්ෂේත්රයන් සඳහා ලැබෙන තාක්ෂණික සහයෝගය රටේ ජාතික සංවර්ධනයට සහ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) ළඟා කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දී ඇති බව තානාපතිනිය එහිදී පෙන්වා දී තිබේ.
“සාමය සහ සංවර්ධනය සඳහා පරමාණුක බලශක්තිය” යන මූලධර්මවලට සහ න්‍යෂ්ටික විද්‍යාව සාමකාමී අරමුණු සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම මෙමඟින් යළි අවධාරණය කර ඇති අතර, පසුගිය වසර දෙක තුළ කලාපීය මට්ටමේ පුහුණු සහ සංවර්ධන රැස්වීම් කිහිපයක්ද ශ්‍රී ලංකාවේදී පවත්වා ඇත.
















