ඇමරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ආචාර්ය ලහිරු ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් ප්ලාස්ටික් සහ ශාක අපද්‍රව්‍ය යොදාගෙන කුකීස් ආකාරයේ පර්යේෂණාත්මක ආහාර නිෂ්පාදනයක් සකස් කර තිබෙනවා. Microbites ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණයේ නව ප්‍රතිඵල 2026 අගෝස්තු 24 වැනිදා ඇමරිකානු රසායන විද්‍යා සංගමයේ සමුළුවකදී ඉදිරිපත් කර තිබෙනවා.
ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා භාවිත කරන PET ප්ලාස්ටික් සහ ඉවතලන ශාක ද්‍රව්‍ය විශේෂ ක්‍රියාවලියකින් කුඩා සංයෝග බවට බිඳ දමා, ඒවායේ අඩංගු කාබන් ක්ෂුද්‍රජීවීන් මඟින් ප්‍රෝටීන් ඇතුළු ආහාර සංඝටක බවට පරිවර්තනය කර තිබෙනවා. අනතුරුව එම සංඝටක වෙනත් ආහාර අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙන් කුකීස් ආකාරයේ නිෂ්පාදනයක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
නාසා ආයතනයේ අභ්‍යවකාශ ආහාර පර්යේෂණ වැඩසටහනකට සම්බන්ධ මෙම ව්‍යාපෘතිය දිගුකාලීන අභ්‍යවකාශ මෙහෙයුම් සහ ආහාර සැපයුම සීමිත පරිසරයන් සඳහා නව ආහාර නිෂ්පාදන ක්‍රමයක් සංවර්ධනය කිරීම අරමුණු කරගෙන තිබෙනවා. පර්යේෂකයන්ගේ මූලික ආරක්ෂණ දත්ත අනුව මෙම නිෂ්පාදනය පරිභෝජනයට සුදුසු විය හැකි බව සඳහන් වුවද, එය සාමාන්‍ය මහජන පරිභෝජනය සඳහා යොදාගැනීමට පෙර තවදුරටත් පරීක්ෂණ සහ අවශ්‍ය අනුමැති ලබාගත යුතු බව වාර්තා වනවා.
















