දශක හතරකට වැඩි කාලයකට පෙර ශ්‍රී ලංකාව විසින් පිලිපීනයට තෑගි කරන ලද, ‘විශ්ව මාලි’ (Vishva Mali) නමැති ආදරණීය ඇතින්නගේ සංරක්ෂිත දේහය පිලිපීනයේ ජාතික කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනයට තබා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පිලිපීන රජයේ ඉල්ලීම පරිදි 1970 දශකයේ අග භාගයේදී කුඩා ඇතින්නක ලෙස පිලිපීනයට ගෙන යන ලද මාලි, මැනිලා සතුන් වත්තේ සිටි වඩාත් ප්‍රසිද්ධ සහ වැසියන්ගේ දැඩි ආදරයට ලක්වූ සතකු විය. 2023 නොවැම්බර් මාසයේදී ඇය මියගිය අතර, ඇයගේ වියෝව සමස්ත පිලිපීනය පුරාම මහත් සංවේගයක් ඇති කිරීමට හේතු විය.
මෙම ස්ථිර ප්‍රදර්ශනය ආරම්භ කිරීම 2026 වසරේ සමරනු ලබන ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරයටද සමගාමී වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පාහේවා මහතා මෑතකදී ජාතික කෞතුකාගාරයට පැමිණ මාලිගේ ස්ථිර ප්‍රදර්ශනය නැරඹීමට සහ ඇයට උපහාර දැක්වීමට කටයුතු කර තිබේ. අගෝස්තු මස අග සිට ජාතික ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ (National Museum of Natural History) ප්‍රධාන දොරටුව අබියස ඇගේ සංරක්ෂිත දේහය ජනතාවට ප්‍රදර්ශනය කෙරේ.
















