ආබාධ සහිත දරුවන්ගේ කුසලතා සංවර්ධනය සහ දිවාසුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණින් දිවයිනේ සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ‘සුරක්ෂා’ කුසලතා සංවර්ධන හා දිවාසුරැකුම් මධ්‍යස්ථාන 25ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්රකාශනයේ ‘ආරක්ෂිත සමාජයක් – සුපෝෂිත ජාතියක්’ පරිච්ඡේදයට අනුව ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන යටතේ 2026 වසර තුළ මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට නියමිතය.
මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර ඇති අතර, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 447ක මුදලද සමඟ වැඩසටහන සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් මිලියන 697කි. මෙම මධ්‍යස්ථාන හරහා ආබාධ සහිත දරුවන්ට අවශ්‍ය දිවාසුරැකුම් පහසුකම් මෙන්ම කුසලතා සංවර්ධනය සඳහා නවීන පුහුණු අවස්ථා ලබාදීමට අපේක්ෂා කෙරේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු ‘සුරක්ෂා’ කුසලතා සංවර්ධන හා දිවාසුරැකුම් මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නඩූඋත්තු ග්‍රාම නිලධාරී වසමේදී විවෘත කර තිබේ. වැඩසටහන යටතේ ඉදිකෙරෙන දෙවැනි මධ්‍යස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝලංගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී ලබන සැප්තැම්බර් 29 වැනිදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.
















