සැකකරුවන් සහ රැඳවියන් රැගෙන මහනුවර අධිකරණ සංකීර්‌ණයේ සිට දඹුල්ල බන්ධනාගාරය වෙත ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් ජංගම දුරකථනයකින් වීඩියෝ කළ බවට සැකපිට 30 හැවිරිදි පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වැඩිදුර විමර්‌ශන සඳහා මහනුවර මූලස්ථාන පොලිසිය වෙත භාරදී ඇත.
පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිතුරෙකුට ඇප ලබාගැනීම සඳහා මහනුවර අධිකරණ සංකීර්‌ණයට පැමිණි බවයි. එහිදී මිතුරාට ඇප ලබාදිය නොහැකි බව දැනගැනීමෙන් පසු ඔහු බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාව වීඩියෝ කිරීමට උත්සාහ කර ඇති බවත්, තවත් පුද්ගලයෙකු එලෙස සිදු නොකරන ලෙස දැනුම් දීමෙන් පසු එම උත්සාහය අත්හැර ඇති බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන් සඳහන් කර ඇත්තේ බන්ධනාගාර බස් රථය සහ එහි සිටි රැඳවියන් වීඩියෝ කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. පසුව එම බන්ධනාගාර බස් රථයෙන්ම ඔහු මහනුවර මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‌ශන සිදුකරයි.
















