රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ අරමුණින් **GovHR (Public Service Human Resource Management Information System)** පද්ධතිය නිල වශයෙන් එළිදක්වා තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මෙම පද්ධතිය මඟින් රාජ්‍ය සේවකයන්ගේ තොරතුරු සහ සේවා කළමනාකරණ ක්‍රියාවලීන් මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් හරහා කළමනාකරණය කිරීමට අපේක්ෂා කරයි.
බඳවා ගැනීම්, ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථාන මාරු, දේශීය හා විදේශීය පුහුණු, දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් ඇතුළු මානව සම්පත් ක්‍රියාවලීන් මෙම පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. එමඟින් කඩදාසි මත පදනම් වූ සාම්ප්‍රදායික ක්‍රියාවලීන් හේතුවෙන් ඇතිවන ප්‍රමාද සහ අකාර්යක්ෂමතා අවම කිරීම අරමුණ වී ඇත.
මෙම පද්ධතිය 2026 සැප්තැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා ඇති අතර, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක මහාචාර්ය හාන්ස් විජයසූරිය ඇතුළු පිරිසක් ඊට එක්ව තිබේ.
















