දකුණු අප්‍රිකාවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ. එක් සිද්ධියක් ජොහැන්නස්බර්ග් නගරයට නිරිත දෙසින් පිහිටි වෙඩෙලා ප්‍රදේශයේ මත්පැන් හලකදී සිදුව ඇති අතර, අනෙක් සිද්ධිය කේප් ටවුන් ආසන්න ල්වන්ඩ්ලේ ප්‍රදේශයේදී සිදුව තිබේ.
වෙඩෙලා ප්‍රදේශයේ සිද්ධිය සෙනසුරාදා රාත්‍රී 9.30ට පමණ සිදුව ඇති අතර, සන්නද්ධ පුද්ගලයින් අට දෙනෙකු මත්පැන් හලේ පිටත සහ ඇතුළත සිටි පිරිසට වෙඩි තැබූ බව දකුණු අප්‍රිකානු පොලිසිය පවසයි. මියගිය පිරිසට පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළත් වන අතර, තවත් 15 දෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සැකකරුවන් AK-47 වර්ගයේ රයිෆල් සහ පිස්තෝලවලින් සන්නද්ධව සිටි බව පොලිසිය සඳහන් කර ඇත.
පොලිසියට අනුව සැකකරුවන් පලා යාමට පෙර ඇතැම් පාරිභෝගිකයන් සෝදිසි කර ජංගම දුරකථන රැගෙන ගොස් ඇති අතර, වාහන දෙකකින් පලාගොස් තිබේ. තවත් වාහන දෙකකට ගිනි තබා ඇති බවද වාර්තා වේ. සිද්ධියේ අරමුණ මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මේ අතර, ඉරිදා අලුයම කේප් ටවුන් ආසන්න ල්වන්ඩ්ලේ ප්‍රදේශයේ විනෝදාස්වාද ස්ථානයක සිදුවූ වෙනත් වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. එම සිද්ධියේදීද සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
















