කල්මුණේ උතුර මූලික රෝහලේ සේවය කළ මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන් සේවයේ නියුතු අවස්ථාවේදී හිස් ආවරණ සහ අනෙකුත් ආගමික ඇඳුම් ඉවත් කරන ලෙස නියෝග කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්වීම් ලබා ගොස් සේවයට වාර්තා කළ අදාළ සේවිකාවන්ට රෝහල් බලධාරීන් විසින් ආගමික ඇඳුම් ඉවත් කරන ලෙස බල කර ඇති අතර, ඊට එකඟ නොවූ සේවිකාවන්ට මාරුවීම් ලබා දීම හෝ ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්ප නොමැති බව පවසමින් වාචිකව පීඩා කර ඇත. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අර්ථ දැක්වීම පදනම් විරහිත සහ වෙනස් කොට සැලකීමක් බව පෙන්වා දී ඇති කොමිෂන් සභාව, අදාළ සේවිකාවන්ට යළි එම රෝහලේම සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත්, ආගමික ඇඳුම් ඇඳීමට නිල වශයෙන් අවසර දෙන ලෙසත් නිර්දේශ කර තිබේ. එපමණක් නොව, රාජ්‍ය සේවකයන්ට ආගමික ඇඳුම් පැළඳීමට අවසර දෙමින් නව ජාතික චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.













